හරි අපි කලින් ලිපියේ කතා කලේ, ෆොරෙක්ස් ට්‍රේඩ් කරද්දී හරි කරන්සි පෙයාර් එකක් තෝරාගන්නේ කියන එක. එතනදී අපි වැඩිපුර කතා කරා ඇමරිකන් ඩොලරය ගැන. අද ලිපියෙන් අපි කතා කරන්න යන්නේ ඇමරිකන් ඩොලරය මෙච්චරම වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන.
ඔක්කොටම කලින් අපි ෆොරෙක්ස් මාකට් එක අනිත් මාකට් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. අපි දන්න ස්ටොක් මාකට් වල, එක මුලස්තානයක් තියෙනවා. හැබැයි ෆොරෙක්ස් වල එහෙම එක මුලස්තානයක් හරි මධ්‍යගත තැනක් හරි නෑ. ෆොරෙක්ස් මාකට් එක OTC (Over the counter) මාකට් එකක් නැත්තම් Inter-Bank (බැංකු අතර) මාකට් එකක් විදියට තමයි සලකන්නේ. සියලුම ගනුදෙනු වෙන්නේ ඉලෙක්ට්‍රොනිකව, අන්තර්ජාලය හරහා.
ඉතින් ගොඩක් දෙනෙක්ට පහසුවෙන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා, මේ මාකට් එක ලෝකේ ලොකුම සහ වැඩිම පිරිසක් සහභාගී වෙන මාකට් එක බවට පත් වෙලා තියෙනවා.
ඒ වගේම ට්‍රේඩ් කරන අයට සම්පුර්ණ නිදහස තියෙනවා එයාලට කැමති වෙලාවට, කැමති විදියට, කැමති ප්‍රමාණ වලින් ගනුදෙනු කරන්න.
හරි අපි දැන් කතා කරමු මේ ලිපියේ ප්‍රධාන මාතෘකාව ගැන. ඇමරිකන් ඩොලරය. පහල ප්‍රස්ථාරයේ තියෙනවා ෆොරෙක්ස් මාකට් එකේ වැඩියෙන්ම ගනු දෙනු වෙන මුදල් වර්ග ටික. ඔයාලට පැහැදිලිව පේනවා මුළු මාකට් එකේ ට්‍රේඩ් වෙන මුදල් සියල්ල අතරින් 80% කට එහා ආධිපත්‍ය පතුරවාගෙන ඉන්නේ ඇමරිකානු ඩොලරය.
ඉතින් අපි කලින් ලිපියේ කතා කරපු Major Currency Pairs හැදෙන්නෙත් USD සමග සම්බන්ධ වෙලා.
අන්තර්ජාතික මුදල් පිලිබඳ අරමුදලට (IMF) අනුව ලොව පුරා තියෙන මුදල් සංචිත වල 65% ක්ම තියෙන්නේ USD. මේ හේතුවට අමතරව පහල හේතුත් USD, ෆොරෙක්ස් මාකට් එකේ රජ කරන්න හේතු වෙලා තියෙනවා.
- ඇමරිකාවේ තමයි ලෝකේ ලොකුම ආර්ථිකය තියෙන්නේ
- ඉතා විශාල සමාගම් බොහොමයක් තියෙන්නේ ඇමරිකාවේ.
- ඒ වගේම ඇමරිකාවේ දේශපාලන පද්ධතිය අනික හැම රටකටම වඩා ස්ථායි.
- ඒ වගේම මුළු ලෝකෙන්ම බලවත්ම හමුදා බලය තියෙන්නෙත් ඇමරිකාවට.
- ඒ වගේම ලොව පුරා සිදුවන ගොඩක් ගනු දෙනු වලදී මුදල් ගනු දෙනු වෙන්නේ USD වලින්
උදාහරණයක් විදියට සවුදි අරාබිය බොරතෙල් විකුනන්නේ USD වලින්. හිතන්නකෝ එතකොට ලංකාවට බොරතෙල් ගෙන්න අපි ඉස්සෙල්ලම අපේ රුපියල් විකුනලා USD මිලට අරන් ඉන්න ඕනි.
හරි ඔය ටික තමා ඇමරිකන් ඩොලරය සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. මන් ලිපිය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆොරෙක්ස් මාකට් එක සම්බන්ධ තවත් වැදගත් කරුණක් සාකච්ඡා කරලා.
අපි දැන් සරලව දන්නවා ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ වෙන කරන්සි එකකට සාපේක්ෂව එක කරන්සි එකක් අඩුවට මිලට අරන් වැඩි වෙනකන් ඉදලා විකුණන එක කියලා. මෙතැනදී අවධාරණය කරලා කියන්න ඕනි මේ ලෝකේ කව්රුවත් නෑ 100%ක් හරියටම ඊලගට මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්.
ගොඩක් දෙනෙක් මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ අනුමාන කරලා. මේ අනුමාන නිවැරදි අනුමාන වෙන්න අපිට ගොඩක් ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. අපි ඉදිරි පාඩම් වල ඒවා විස්තර සහිතව කතා කරනවා.
ඉතින් මෙහෙම හැමෝම අනුමානයට ගනු දෙනු කරන නිසා එකම වෙලාවේ දෙන්නෙක් දෙපැත්තට ගනු දෙනු කරන්න පුළුවන්. ඒ වගේම ෆොරෙක්ස් මාකට් එක සතියේ දින වල පැය 24 ම ක්‍රියාත්මක වෙන නිසා, ඒ ඒ රටවල වැඩි පිරිසක් ගනු දෙනු කරන වෙලාවල් අනුව අපි කරන ගනු දෙනු වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳවත් අපි විස්තර සහිතව ඉදිරියට කතා කරමු.
එහෙනම් අද ලිපියට මෙච්චරයි. ඊලග ලිපියෙන් හමු වෙමු.
ජයවේවා!